Sunday, July 24, 2011

බක තපස් ද්විත්ව අවතාරය හෙවත් රන්ජිත් අතලේ

කොට්ටේ ආන්න්ද ශාස්ත්‍රාලයෙන් උසස් පෙළ දක්වා අධ්‍යාපනය හැදෑරුවා යයි කියන ‍අප කතා නායකයා ෂාවුලින්-ෂූ-වූෂූ සංගමයේ ප්‍රධාන උපදේශකයා ලෙස කටයුතු කරමින් සිටි අතර 1988 වර්ෂයේ සිට දිවයින පුරා වූෂූ පුහුණුවීම් පංති පැවැත්වූ බව ඔහුගේ "කුංග් ෆු පුහුණුව" නම් මල්පියලි ප්‍රකාශනයක් ලෙස නිකුත් වූ කුඩා ග්‍රන්ථයේදී සඳහන් කරයි.  එපමණක් නොව 1995 ශ්‍රී ලංකාවේ පැවති වූෂූ තරඟාවලියකදී දක්ෂතම නිදහස් සටන් ශූරයා ලෙස ද ජයග්‍රහණය කළ බවත් කුංග් ෆූ සටන් කලාවේ ශෛලීන් වන කුරුලු, සර්ප සහ ව්‍යාඝ්‍ර ශෛලීන්ද, ආයුධ සටන් වූ ෂාවුලින් කුඩිගෙල්, නන්චාකු, ඩ්රැගන් ස්ටික්, කඩු ශිල්ප යනාදී අංශද මිනිස් ශරීරයේ ඇති කල් ගතවී මරු කැඳවන මාරක නිල ශාස්ත්‍ර ක්‍රමයද මා හදාර ඇති බව ප්‍රකාශ කරයි.  කෙසේ වෙතත් අසූව හා අනූව දශකයේදී සුප්‍රසිද්ධ වූෂූ උපදේශකවරයෙක් ලෙස කටයුතු කළ මෙම පුද්ගලයා දෙදාහ දශකයේ මැද භාගය වනවිට තමන්ගේ "කුංග් ෆූ සටන් උපදේශක" යන කොටස "දේශීය අංගම් සටන් උපදේශක" බවටත් තවත් අවස්ථාවක "ජාතික අංගම් සටන්කලා උපදේශක" බවටත් පත්කර ගන්නේ දඬුබස්නාමානය නැරඹීමෙන් ලංකාවේ තරුණයන් අතර ඇතිවූ "අංගම්පොර" සටන් කලා කුතුහලය හා ආශාව පාවිච්චි කරමින් තම බඩ වියත රැක ගන්නට බව නම් නොකිවමනා ය.  මෙහිදී "අංගම් සටන් සහ ජන ක්‍රීඩා" හා "අංගම් සටන් පුහුණුව" නම් නොවටිනා පොත් දෙකක් ලියමින් ඒවායේ පසුවදන් සැපයීමට වීරප්පු නම් පුද්ගලයෙක් යොදා ගන්නා අතර ඔහු අතලේව හඳුන්වා දෙන්නේ ඉපැරණි අංගම් ශිල්පධාරියෙකු වශයෙනි.


වීරප්පුගේ අඩුක්කු නොහොත් "අපේ අංගම් කරු ගැන"


පිටකොටුව මල්ටි පොත් මැදුරින් 2006 වසරේදී  මුද්‍රණය කොට ප්‍රකාශයට පත් කරන ලද නොවටිනා පදික වේදිකා පොතක් වන අංගම් සටන් පුහුණුව "ශ්‍රී ලංකාවේ ප්‍රථම අංගම් සටන් පුහුණු කෘතිය" ලෙස හඳුන්වා දෙමින් කර්තෘත්වය දරන ලද්දේ ඩී රන්ජිත් අතලේ විසින් ය. කෙසේ වෙතත් එම කෘතියේ කර්තෘ නම යටින් වරහන් තුළ සඳහන් වන ආකාරයට ඔහු "දේශීය අංගම් සටන් උපදේශක" වරයෙකි. කෙසේවෙතත් අගක් මුලක්, ජාතියක් ජම්මයක් නොමැති පාරම්පරික අංගම් ශිල්පී වීරප්පු නැමැත්තා විසින් මෙම කෘතියට පසු වදනක් සපයන්නේ "අපේ අංගම් කරු ගැන" යනුවෙන් ආකර්ශණීය ශීර්ෂයක් ද යොදමිනි. "අපගේ ශ්‍රී ලංකාව තුල පාරම්පරිකව පැවත ආ සංස්කෘතික වටිනාකමකින් යුත් ‍අංගම් සටන් කලාව දන්නෝ අද ඇත්තේ ඉතා ටික දෙනෙකි. 

මෙහි අගය දන්නෝ ඉතා නිහඬව සිටීම එයට හේතුවයි. එහෙත් ජාතියේ පෘඩත්වය වෙනුවෙන් මෙවන් සටන් කලාවක් අප ලංකාව තුල තිබුනා යයි ලියා සංරක්ෂණය කර තැබීම ලක් මෑණියන්ට කරන ප්‍රණාමයකි." යනුවෙන් ලියමින් තම අඩුක්කුව සකස් කරන වීරප්පු තොවිලය නටන්නේ මෙසේ ය. "රංජිත් අතලේ මහතා එය මෙම කෘතිය තුලින් අද සපුරා ඇත. චිත්‍ර ශිල්පියෙකු, ප්‍රවීන ලේඛකයෙකු සහ ඉපැරනි අංගම් ශිල්පධාරියෙකු වන මොහු ලක් ඉතිහාසයේ මෙවන් කෘතියක් කල පලමු කලාකරුවාත් පලමු අංගම් කරුවාත් බව අවිවාදයෙන් කිව යුතු ය." තමාද අංගම් ශිල්පියෙකු බව පවසන වීරප්පු තම වන්දිභට්ටකම අවසන් කරන්නේ "එය ඉපැරණි අංගම් ශිල්පීන් වූ අපටත්, ජාතියටත් මහත්වූ අභිමානයකි.යනුවෙන් ප්‍රකාශ කරමිනි. ව්‍යාකරණ දෝෂවලින් බහුල වන මොහුගේ මෙම බාල බොළඳ ප්‍රකාශය කියවන පාඨකයාට සිතෙනුයේ මෙම කෘතිය කියවා හමාර වූයේ නම් දසමහා යෝධයෙකු වීමට හැකියාව ලැබෙන බව යයි අතලේ සිතා සිටියා විය යුතු ය. එසේ නොමැතිනම් අංගම්පොර නැමති ශිල්පය දන්නා කවරෙකුහෝ මේ රටේ ඉතිරිවී සිටිනවා යන්න විශ්වාස නොකලා විය යුතු ය. පදික වේදිකාවක්, පදික වේදිකාවන් ගානේ විකිණෙන අනේකවිද නොවටිනා පොත් ගොන්නක් අතරට අංගම්පොර නැමති උත්තරීතර ශ්ල්පයද එකතු කිරීමේ පාහරකමට මුලපුරන අතලේව අගය කරනා අංගම්පොර ශිල්පියෙක් නොමැත. මන්ද වීරප්පු අංගම්පොර ශිල්පියෙක් නම් මෙම කෘතියේ සඳහන් අංගම්පොර නොවන නමුත් ඔහුගේම කුංෆූ පොතේ සඳහන් කොටස් ‍පිළිබඳ අනවබෝධයෙන් සිටීමට හේතුවක් නැත.


නොදන්නා අංගම්පොරයක් ගැන දන්නා ආකාරයට ලියූ හෑලි...


ෂාවුලින් කුංග් ෆූ, කුංග් ෆූ පුහුනුව, පොලු සටන් සහ නන්චාකු පුහුණුව, බොක්සින් සහ වූෂූ වැනි වූෂූ සටන් කලාව ආශ්‍රිත පදික වේදිකා වෙළෙදුන්ට පමණක් විකිණිය හැකි තත්ත්වයේ නොවටිනා පොත් කිහිපයක් ලියූ රන්ජිත් අතලේ නම් වූෂූ සංගමයක් පවත්වාගෙන ගිය පුද්ගලයා හිටි අඩියේම පාරම්පරික අංගම් සටන් උපදේශක බවට පත්වූයේ කුමක් සඳහාද යන්න පැහැදිලි කළ යුත්තක් නොවේ. 2006 වසරේදී ලංකාවේ ප්‍රථම අංගම් සටන් පුහුණු කෘතිය යනුවෙන් පිටු 50කටත් අඩු පොතක් ලියූ අතලේ කියන්නේ හරි අපූරු කතාවකි. 


"මෙම අංගම් සටන් කලාව හැදෑරිය යුත්තේ බෞද්ධයන් බව පමණක් සිහි කල යුතුය. එමෙන්ම මෙහි එන අංගම් ව්‍යායාම සහ අංගම් පහරදීම් අංගම් ආචාරය කර්තෘගේ අවසරයකින් තොරව උපුටා ගැනීම සම්පූර්ණයෙන් තහනම් බවද සලකන්න."


අංගම් ශාස්ත්‍රය උගන්වන්නේ සිංහල බෞද්ධයින්ට පමණක් බව සැබෑය. කෙසේ වෙතත් මෙසෙල මොහු පොතේ සඳහන් කළ පමණින් සිංහල දන්නා වෙනත් ආගමක හෝ වෙනත් ජාතියක අයෙකුට මෙම කලාව හිමිවීම වැළැක්විය හැකිද යන්න ගැටලුවකි. කෙසේ වෙතත් අංගම් සටනේ ඉතිහාසය, ඌරා ලි‍ඳේ අංගම් කෙ‍ටීම, මල්ලව පොර හෙවත් මුෂ්ටි යුද්ධ,  ආචාරය, අංගම් ව්‍යායාම, ශරීරයේ නිල ස්ථාන, නිල වෙදකම ආදී කරුණු ගණනාවක් මෙම පොතේ සඳහන් වේ. මේවා කෙතරම් දුරට සත්‍ය දැයි හඳුනා ගැනීමේ ප්‍රයත්නයක යෙදුණු අපට කරුණු රැසක් රැස් කර ගැනීමට හැකි විය. ඉන් එක් අවස්ථාවක් පහතින් සඳහන් වේ.
ඉහත උදාහරණය පමණක් නොව ඔහු ලියූ අංගම් පොත් සමඟ ඔහු විසින්ම ලියූ වූෂූ පොත් කියවීමේදී පැහැදිලි වන්නේ ඔහු දන්නා වූෂූ සටන් කලාවේ කොටස්ම කුඩා වෙනස් කම් සහිතව අංගම් සටන් කලාව ලෙස තමන්ගේ පොත් වල සටහන් කර ඇති බවයි. මෙම ග්‍රන්ථ වල දක්වා ඇති පා පහරවල් හා අත් පහරවල් මූලික සමානකම්වලින් යුක්ත වේ. එනම් නොදන්නා අංගම්පොරයක් ලියන්නට ගොස් අවසානයේදී අංගම්පොර නමින් වූෂූ ගැනම වෙනස් විදියකට ලියා ඇත.



දැරණියගලගේ "සිංහල ත්‍රාසජනක ක්‍රීඩා" පොත "අංගම් සටන් සහ ජන ක්‍රීඩා" ලෙස නැවත ලිවීම

ප. එ. ප. දැරණියගල නම් වූ ලංකා ජාතික කෞතුකාගාර හිටපු අධ්‍යක්ෂ වරයා යනු අද අංගම්පොර නමින් තම තමන්ගේ සටන් කලාවන් උගන්වන බොහෝමයක් අංගම්චෞරයින් මල් තියා පිදිය යුත්තෙකි. මන්ද බොහෝ දෙනා අංගම්පොර ගැන ඉගෙන ගත්තේ හා තම බඩවියත රැක ගන්නේ මෙම කෘතියේ සඳහන් වන ඉතා කුඩා කොටස් කිහිපයක් දඩමීමා කරගෙන ය. එය රන්ජිත් අතලේටද ඒ ආකාරයෙන්ම සාධාරණ වේ.


සුසර ප්‍රකාශනයක් ලෙස පිටු 40කින් පමණ යුක්ත වන "අංගම් සටන් සහ ජන ක්‍රීඩා" නමින් නොවටිනා පොතක් ලියන අතලේ එම කෘතියේදී තමාව හඳුන්වා දෙන්නේ "ජාතික අංගම් ශිල්ප ආචාර්ය" වරයෙකු ලෙස ය. සුසර ප්‍රකාශන ආයතනයේ අධ්‍යක්ෂකතුමාගේ ආරාධනයකින් මෙය ලියූ බව පෙරවදනේ දී ප්‍රකාශ කරන්නේ "මෙම කෘතියේ එන කරුණු කර්තෘගේ අවසරයකින් තොරව උපුටා ගැනීම වරදකි" යනුවන් ද සඳහන් කරමිනි.  එය එසේ වුව ද දැරණියගල විසින් ලියන ලද හේරත් ම. අභයරත්න විසින් සිංහලයට පරිවර්තනය කරන ලද "සිංහල ත්‍රාසජනක ක්‍රීඩා" කෘතිය ඒ ආකාරයෙන්ම පිටපත් කර ඇති මෙම කෘතිය ඒ දැරණියගලයේ බුද්ධිමය දේපල අයිතිය නම් කඩ කර ඇති බව පෙනේ.


ඉහත ආකාරයේ උදාහරණ මෙම කෘති දෙකම එකට කියවීමෙන් මොනවට සොයා ගත හැකි ය. ඒ අතර මූෂ්ටි යුද්ධ නැමති කොටස, කැටයම් හා ඒවාට දී ඇති අර්ථකතන ආදිය මුල් තැනක් ගනී. කෙසේ වෙතත් දැරණියකලගේ පොත ඒ ආකාරයෙන්ම පිටපත් කළ අතලේට දැරණියගලට වැරදුණ තැන් ඒ විදියටම වැරදී තිබීම හාස්‍ය ජනකය.

ඉතින් තොට මොකෝ...


අප විසින් වරක් එක් වෘධතර පුද්ගලයෙකුට අංගම් ශිල්පය සමාජමය වශයෙන් විනාශ කරනා මෙවන් අංගම්චෞරයින් ගැන ප්‍රකාශ කළ විට ඔහු කීවේ "ඉතින් තොට මොකෝ..." කියා ය. නමුත් යමෙකුට එසේ සිතිය හැකි වුවද  මේ ශිල්පයට පණ මෙන් ආදරය කරන අංගම් ශිල්පියෙකුට නම් එසේ සිතිය නොහැකි ය. මන්ද අංගම් ශිල්පය මොවුන්ට විනාශ කිරීමට නොහැකි බව සැබෑ ය. මන්ද මොවුන් අංගම් ශිල්පය තිබෙන තැනක් වත් නොදන්නා බැවිනි. කෙසේ වෙතත් චිරාත් කාලයක් මේ ලක් දෙරණ පැවතුණ මෙම ශිල්පය යනු ලාංකිකයන් ඉන්දියාව ප්‍රධාන විදේශ බලපෑම් වලින් ආරක්ෂා කර ගත් අති උතුම් ශාස්ත්‍රය අංගම් ශාස්ත්‍රයයි. එය ක්‍රීඩාවක් හෝ මුදල් උපයන වාණිජමය වචනයක් පමණක් වූ මොවුන් විසින් සමාජයට මේ ආකාරයේ පහත් නිර්මාණ ඉදිරිපත් කොට අද වන විට පදික වේදිකා ගානේ රුපියල් 50ට 100ට විකිණෙන බාල බොලඳ ශිල්පයක්  බවට අංගම් ශාස්ත්‍රය පත් කොට හමාර ය. ඉතිහාසයේදී මෙන් නොව මෙම ශිල්පය පිළිබඳ සාමාන්‍ය ජනයා තුළ ඇති සාමාන්‍ය අවබෝධය මද බැවින් තම තමන්ගේ ව්‍යාපාර අරමුණු උදෙසා අති උතුම් ශිල්පය බාල්දු කිරීමට මොවුනට අද හැකිවී තිබේ. එය යම් තරමකින් හෝ පාලනය කිරීමට අපට මෙම බ්ලොග්කරණයෙන් හැකි වේ නම් එය අප ලබන මහඟු ජයග්‍රහණයකි.